ලෝකය දිනෙන් දින වෙනස් වෙයි.මනුෂ්‍ය සිතු පැතුම් ද ඒ හා සමානව වෙනස් වෙයි.එකී ලොව තුළ සාරධර්ම,ආචාර ධර්ම ගැන කතා කිරීම නිෂ්පලය.නමුත් ලෝකය එසේ වෙනස් උවද නොවෙනස්ව පවතින යම් දෙයක් ඇත.ඒ දෙමාපිය-දූදරු සබධතාවයයි.නමුත් වත්මනය වන විටදී එයද නොසිතු ලෙස වෙනස් වීමකට බදුන්ව ඇත.දෙමාපියන් යනු පුද්ගලයෙකුගේ මහා බ්‍රහ්මයන් බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇති බැව් බොදු ගැතියන් හොදාකාරවම දනියි.එය කුමන ආගමකට වුවද,කුමන ජාතියකට වුවද වෙනසක් නොවන බව අපි දනිමු.එසේම එය සියලුම සත්ව ප්‍රජාවටම පොදු කරුණක් වන බවද අපි දනිමු.එදා බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයෙන්ද දේශනා කලේ ඒ පිළිබදවය.දෙමාපියන්ට සැලකීම උතුම් කරුණක් වන බවත් එය මංගල කාරණයක් වන බවත් උන්වහන්සේ දේශනා කළහ.නමුත් මා මේ කියන්නට යන්නේ දෙමාපියන්ට සැලකීම පිලිබදවනම් නොව.එය ගැන අමුතුවෙන් කිව යුතුද නොවේ.මන්ද කවුරුන් කෙසේ කීවත් සෑම දරුවෙක්ම දෙමාපියන්ට කුමක් හෝ සෙනෙහසක් දක්වන බව ලෝකයම පිළිගත් කරුණකි.දරුවා යනු දෙමාපියන්ගෙන් යැපෙන්නා වූ ජීවියෙකි.ඔවුන්ගේ වර්ධනයත් සමග ගසට පොත්තක් මෙන් වූ මෙම බැදීම මනාව අවබෝද වෙයි.
එසේනම් දරුවන් දෙමාපියන්ට නොසලකා සිටින්නේ කෙසේද?වැඩිහිටි නිවාස දිනෙන් දින වර්ධනය වන්නේ කෙසේද?දරුවාගේ සබදතාවය දෙමාපියන් හා සම්බන්ධ වන්නේ කුස තුළ සිටිද්දීය.එහෙව් ලොව තුළ මෙවැනි සිදුවීම් අසන්නට ලැබෙන්නේ මන්ද?සිතා බැලිය යුතු කරුණක් පවතී.බුදුන් වහන්සේ තෙවරක් වැඩි රටක වැඩිහිටි නිවාස වර්ධනය වන්නේ ඇයි?සිතන්න.අපි කොතැන හෝ වරදවාගෙන ඇත.අප අමතක කල යමක් ඇත.බුදුන් වහන්සේ එදා දේශනා කලේ දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් පමණක් නොව,දෙමාපියන්ගෙන් දරුවන්ටද ඉටුවිය යුතු යුතුකම් උන්වහන්සේ දේශනා කළහ.අද ලෝකයම කතා කරන්නේ දරුවන්ගෙන් දෙමාපියන්ට සිදුවන අසාධාරණකම් පමණි.දරුවන්ගෙන් දෙමාපියන්ට සිදුවිය යුතු යුතුකම් පමණි.නමුත් දරුවෙකු වැදූ පමණින් ඔවුන් දෙමාපියන් වෙනවාද?අද වනවිට ළමා දිනයට පමණක් ළමුන් ගැන කතා කිරීම සිමා වී ඇත.
උක්ත කියමනින් මා සදහන් කලේද එයයි.ලෝකයක් අද දෙමාපියන් ගැන කතා කරද්දී දරුවන් ගැන කතා කරන්නට මා සිතුවේද එනිසාය.ඔවුන් කුඩා කල රැකවරණයක්,ආදරයක් ලබා නොදී ඔවුන් වැඩිවියට පත් වූ පසු යුතුකම් බලාපොරොත්තු වීම කෙතරම් යුක්ති සහගතද?සිතන්න.ඔබත් දෙමාපියෙක්නම් කිසිවිටක දරුවාට යුතුකම් ඉටු නොකර ඔවුන්ගෙන් යුතුකම් බලාපොරොත්තු නොවන්න.දරුවාට දෙමාපියන්ට සැලකීමට නීති පැනවිය යුතු නැත.ඔවුන්ට එය නිතැතින්ම පැමිණෙන්නේ දෙමාපියන් ඔවුන්ව වැදූ අකාරයටය.මෙතරම් බණ කියන රටක ළමුන් පිළිබද බණක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.සියල්ලන්ම දරුවන් දෙසට චෝදනා එල්ල කරයි.තරුණ ප්‍රජාවගේ වැරදි පිලිබදව විතරක් ඔවුන් කතා කරයි.ඔවුන්ට එසේ වීමට හේතුව කිසිවෙකු සොයා බලන්නේ නැත.දෙමාපියන්ට සිතු පරිදි ළමුන් බිහි කර උන් හැරදමා යාම වෙනත් කිසිදු සත්ව ප්‍රජාවක් තුළ නැත.එය ඇත්තේ මනුස්ස ප්‍රජාව තුළ පමණකි කීම හාස්‍යට කරුණකි.
දරුවාට අවශ්‍යම කලදී ආදරය,රැකවරණය නොදී ඔවුන් උස් මහත් වූ පසු ඔවුන්ගෙන් දෙමාපියන් ආදරය,රැකවරණය ඉල්ලා සිටීම විහිළුවක් නොවන්නේද?වපුරන තරමට අස්වැන්න නෙලීමට ඔවුන්ද සුදානම් වියයුතු නොවේද?බිහිසුණු අපරාධ කරුවන්,මංකොල්ල කරුවන්,බිහි කරන්නේ දෙමාපින්ම නොවේද?ලෝකය වෙනස් වියයුතුව ඇත.ළමුන් පිළිබද මීට වඩා සිතිය යුතුව ඇත.එවිට බලන්න ලෝකය කෙතරම් සුන්දර වේවිද කියා.......